Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Gossip Lanka News | gossip lanka | gossiplanka | gossiplanka.lk | ගොසිප් ලංකා | gossiplankanews | hirugossip | hiru gossip | hari gossip

Breaking

Home Top Ad

banner
banner
banner
banner

Post Top Ad


Thursday, September 10, 2020

පරිප්පු මැෂිමට ඇඹරුණු පුංචි අත පැය හතෙන් යළි හදයි


මුදා ගැනීමේ නිලධාරීන් පස්දෙනෙකුගෙන් සමන්විත ගිනි නිවන හමුදාවේ නිලරථයක් පෙරටුකර ගනිමින් පැමිණි ගිලන්රථය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වන විට රාත්‍රී 6.45 පසු වූවා පමණි. රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුලුව ගිලන්රථයේ සිටි ළමා රෝගියා පිටතට ගත්තේය. ඒ සැණින්ම වෛද්‍යවරුන් දරුවා පරීක්ෂා කළේ දරුවාගේ වේදනාබර හැඬීමත් සමගයි.

“මොකක්ද මේ කරගෙන තියෙන්නේ” එතැන සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කාගේත් මුවින් පිටවූයේ එවැනි පැනයකි. වෛද්‍යවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ අනතුරකට පත්ව සිටි දරුවාගේ පියා සිදුවූ සියල්ල විස්තර කළේය.

“අපි ගෙදර වඩේ හදනවා. වඩේ හදන්න පරිප්පු අඹරන්නේ මැෂින් එකෙන්. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මගේ වැඩිමල් දියණිය වඩේ හදන්න අපිට උදව් කරනවා. සමහර වෙලාවට මැෂින් එකට පරිප්පු දාන්නේ එයා. මල්ලිව බලා ගන්න කියලා මගේ නෝනා ළඟට ගිහින් එන්න ගිහිල්ලා. අක්කා පරිප්පු අඹරන මැෂින් එකට පරිප්පු දානවා පුතා බලාගෙන ඉඳලා එයත් ඒක කරලා. මැෂින් එකට අත ඇඹරිලා හිරවෙලා.”

මැෂින් එක ඇතුළේ කැඩී බිඳී ගිය අතත් එක්කම රෝහලට ගෙනා අවුරුදු හතරක් වයසැති දර්ශන පොඩි පුතාගේ පියා කදුළු පිරුණු දෑසින් සිදු වූ සියල්ල විස්තර කළේ මවගේ සහ දර්ශන පොඩිපුතුගේ නොනවතිනා හැඬීම හමුවේය.

දර්ශන පොඩි පුතුව පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහුගේ අතේ සිරවී තිබෙන මැෂිම ඉවත් කිරීම සඳහා ශල්‍යාගාරයට ඇතුළු කළේය. එහෙත් ඔහුගේ අතේ සිරවී තිබෙන යකඩ කඳ (මැෂිම) ඉවත් කිරීම බරපතළ ගැටලුවක් වූයේ ශල්‍යාගාරය තුළ මිනිස් අවයව විච්ඡේදනය කිරීමට අවශ්‍ය උපකරණ තිබුණද යකඩ කපන මෙවලම් නොතිබුණ බැවිනි. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ පුහුණු විශේෂඥ වෛද්‍ය රන්දීල් ද අල්විස්ට ක්ෂණයකින් මතකයට ආවේ රෝහල් පරිශ්‍රයේ නාවික හමුදා නිලධාරීන් විසින් ඉදිකරමින් තිබෙන නව ගොඩනැගිල්ල පිළිබඳවය. ඔහු වහාම ක්‍රියාත්මක විය. ගොඩනැගිල්ල සාදන ස්ථානය වෙත ගිය වෛද්‍ය රන්දිල් එහි සේවය කරමින් සිටි නාවික නිලධාරීන් දෙදෙනෙකුට මේ බව පවසා යකඩ කපන කියතක් රැගෙන එන ලෙස දැන්වීය. ක්ෂණයකින් ප්‍රතිචාර දැක්වූ නාවික නිලධාරීන් පස් දෙනෙකු යකඩ කැපීමට අවශ්‍ය ආයුධද රැගෙන ශල්‍යාගාරය වෙත පැමිණියහ. විෂබීජහරණයට ලක්කළ නාවික නිලධාරීන් දෙදෙනෙකුට ශල්‍යාගාරය තුළට ඇතුළුවීමට අවසර ලබා දුන් අතර ඉතිරි නිලධාරීන් තිදෙනා ශල්‍යාගාරය පිටතට සිට ඔවුන්ට අවශ්‍ය මෙවලම් ලබා දීමට කටයුතු කළහ.

ශල්‍ය වෛද්‍යවරුන් මුලින් කළේ නිර්වින්දන වෛද්‍යවරුන් ලවා දරුවාව නිර්වින්දනය කිරීමය. අනතුරුව ජීවානුහරණය කළ තුවායක් දරුවාගේ අත යටින් තබා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත නාවික හමුදා නිලධාරීන් දෙදෙනා යකඩ කපන කියතින් මැෂිම කොටස් වශයෙන් කපා ඉවත් කළහ. එක් වරක් තුවායේ නූලක පැටලුණ කියත කැඩී විසීවී ගියේ වෛද්‍ය රන්දිල්ගේ අතේ ගෑවෙන නොගෑවෙන තරමටය. ඒ කෙසේ වුවද නාවික හමුදා නිලධාරීන්ගේ දක්ෂතාව හා කැපවීම මත මැෂිම කපා ඉවත්කර ගැනීමට පැය දෙකක් වැනි කාලයකදී හැකි වූ බව වෛද්‍ය රන්දිල් පැවසීය.

නාවික හමුදා නිලධාරීන්ගේ කර්තව්‍ය එතකින් අවසන් විය. අනතුරුව පැවැතියේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ කාර්යයයි. දර්ශන පොඩි පුතුගේ කැඩී කුඩුපට්ටම් වී තිබූ දකුණු අත නැවත යථා තත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. තැළී තුවාල වී තිබූ අතේ මස් අතර පරිප්පු ඇට හා මජන් ඉවත් කිරීම ඔවුන් මුලින්ම සිදුකළ කාර්යයයි. අනතුරුව විෂබීජ නාශක ඖෂධ යොදා තුවාලය පිරිසුදු කර තැළී තිබූ රුධිරවාහිනී යථා තත්ත්වයට පත් කර රුධිරය ගමන් කළ හැකි සේ සකස් කළේය. තැළී තිබූ ස්නායු මනාව සකස් කර, බිඳී තිබූ අස්ථි කම්බි යොදා සවි ශක්තිමත් ලෙස සැකසුවේය. ඒ වන විට දර්ශනගේ දබරැඟිල්ලට රුධිරය ගමන් නොකර සෑහෙන වේලාවක් ගතව තිබූ බැවින් එම ඇඟිල්ල කපා ඉවත් කළ යුතු බව වෛද්‍ය කණ්ඩායම මුලින් තීරණය කළද පසුව වෛද්‍ය කණ්ඩායමේ දැඩි කැපවීම මත රුධිරය ගමන් නොකළ ඇඟිල්ල වෙත රුධිරය ගමන් කිරීමේ මාර්ගය පාදාගෙන ඒ ඇඟිල්ලද යථා තත්ත්වයට පත්කිරීමට හැකිවූයෙන් ඇඟිල්ල කැපීමට මුලින් ගෙන තිබූ අදහස ඔවුහු අත්හලහ.

රාත්‍රී 7.00 පමණ ආරම්භ කළ සැත්කම අවසන්වන විට පාන්දර 3.00 පසුවී තිබිණි. සැත්කම සාර්ථකය. දරුවාගේ අත මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

අප මෙහිදී පුහුණු විශේෂඥ වෛද්‍ය රන්දීල්ගෙන් විමසු කල ඔහු සඳහන් කළේ සැත්කම සාර්ථක වූ පසුව තුවාලය සුව වෙන තෙක් දරුවාව හොඳින් රැකබලා ගත යුතු බවය. තුවාලයට විෂබීජ ඇතුළුවීමට ඉඩ ලබා නොදී හොඳින් ආරක්ෂා කළ පසුව භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් අත යළිත් ක්‍රියා කළ හැකි තත්ත්වයට පත් කළ හැකිය යන්නයි.

මෙම සැත්කම සාර්ථක කර ගැනීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ විශේෂඥ වෛද්‍ය රෝමේෂ් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය අරුන්ජිත් අමරසිංහ සහ පුහුණු විශේෂඥවරුන් වන රන්දිල් ද අල්විස්, ජගත් ගමගේ සහ හසාති විජේසුරේන්ද්‍ර ඇතුළු කණ්ඩායම හා ඉන්ද්‍රාණි, බෙගොනී, නාලනී, සහ දර්ශි යන නිර්වින්දන වෛද්‍ය කණ්ඩායමත් රෝහලේ හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ද කැපවූ බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළේය.

මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ දෙමාපියන් හා වැඩිහිටියන් තමන්ගේ දරුවන් කෙරෙහි වැඩි අවදානයක් යොමු කර රැකබලා ගත යුතු බවයි.

ශ්‍රියානි විජේසිංහ - අරුණ

No comments:

Post a Comment

Post Bottom Ad