කොරෝනා පැතිර ගිය පසුගිය අවස්ථාවලදී එය මැඩපැවැත්විමට ජනතාව ලබාදුන් සහයෝගය යළි ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඉල්ලා සිටිනවා.
මුඛ ආවරණ පැළඳීම, මීටරයේ පරතරය සහ අත් සේදීම වැනි සෞඛ්‍ය උපදෙස් යළි පිළිපදින්නැයි ද කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට හැකි උපරිම සහයෝගය ලබාදෙන්නැයි ද ඇය ඉල්ලා සිටියා.
එම කාන්තාවට කොරෝනා ආසාදිත බවට සොයා ගැණුනේ අහම්බෙන් බවද අමාත්‍යවරිය සඳහන් කළා.
ඇය මෙම අදහස් පලකළේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.
"විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසී ජනතාවට අප කියන්නට අවශ්‍යයි ඔබ කොවිඩ් රෝගය මර්දනය කරන්නට පසුගිය කාලයේදී ලබාදුන් සහයෝගය නැවත අප වෙත ලබාදෙන්න කියා. සමාජය තුළින් අද දින රෝගියෙකු මතු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙම රෝගය ලංකාව තුළින් මර්දනය කරන්නට අතිගරු ජනාධිතුමා ගත් ක්‍රියාමාර්ගයත් ඒ වගේම ජනතාව ලබා දුන් සහයෝගයත් නිසා තමයි අපට මේ රෝගය මර්දනය කරගන්නට පුළුවන් වුණේ. නැවත අපට රෝගියකු හමුවෙලා තිබෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, අප ඉල්ලා සිටින සෞඛ්‍ය පුරුදු, විශේෂයෙන්ම මීටරයක දුරක් සහිතව තමන්ගේ කටයුතු සිදු කර ගැනීම, මුඛ ආවරණ පැළඳීම, කිවිසුමකදී බාහිරට පැතිරෙන්නට නොදී අතේ ඇතුළ් පැත්තෙන් ආවරණය කරගැනීම, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු මේ රටේ ජනතාව ඉටු කළ එම පුරුදු වලට වහාම නැවත යන්නටය කියලා ඉල්ලා සිටිනවා.
ඔබේ සහයෝගය අවශ්‍යයි රට මෙයින් මුදා ගන්නට, මෙවැනි තත්වයක් රටේ ඇතිවෙනවිට. තවම එක් රෝගියායි වාර්තා වී තිබෙන්නේ නමුත් එය මර්දනය කරගැනීම සඳහා ඔබේ සහයෝගය අපි උපරිම වශයෙන් බලාපොරොත්තු වෙනවා. ලෝකයේ අනෙක් රටවලට වඩා ශ්‍රී ලාංකීය ජනතාව, සෞඛ්‍ය අංශ දුන් උපදෙස් පිළිපැද්දා. එය අපට විශේෂ සහයෝගයක් වුණා ඒ තත්වයෙන් රට මුදා ගන්න. ඒ වගේම ඔබ දන්නවා ලෝකයේ අද දශලක්ෂයක් පමණ රෝගීන් මිය ගොස් තිබෙනවා මෙම බෙහෙත් නැති රෝගයෙන්. මෙය හුස්ම ගැනීමෙන් පවා බෝ වන්නට පුළුවන් රෝගයක්. ඉතාම කිට්ටුවෙන් දෙදෙනෙක් ආශ්වාස ප්‍රශ්වාස කළහොත්. තෙරපුම් සහිත තැන්වල ඉන්න එපා කියා අප කියන්නේ ඒ නිසයි. සංගීත සංදර්ශන, ප්‍රිය සම්භාෂන වැනි දේවල්. මේවා නැවත අපි මේ රටේ යම් කිසි කාලයකට නැවැත්විය යුතුයි. විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශන සෑම අංශයකටම සෑම වෘත්තියකටම 56ක් නිකුත් කර තිබෙනවා. ඒ ඒ ආයතන, අංශ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න. සියලුම අංශ එම මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතු වෙනවා. එම මාර්ගෝපදේශන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා. සියලුම අංශ කුමන ආකාරයකටද ක්‍රියාත්මක විය යුත්තේ කියා. ඉතාම තදින් සෞඛ්‍ය අංශ මගින් නැවත පරීක්ෂණයකට ලක් කෙරෙනවා, මෙම සෞඛ්‍ය අංශ කියා ඇති ආකාරයටද තම තමන්ගේ වෘත්තීන තම තමන්ගේ ආයතන කටයුතු කරන්නේ කියා' ඇය සඳහන් කර සිටියා.
No comments:
Post a Comment