පෙම්වතෙක්, දාමරිකයෙක් වගේම කවටයෙක් යන චරිත තුනටම පණ පොවන්න පුළුවන්නම් ඔහු කලාවේ සියලූ ඉසව් ස්පර්ෂ කරන්නට සමතෙක්. ඒක එහෙම වෙන්න ඕන. මොකද ඔහු කලා පවුලක එකම අංකුරය නිසා.
පහුගිය කාලයේ සිදු වුණ ඇතැම් සිදුවීම් එක්ක ඔහු ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න ගොඩක් මහන්සි වුණා. මේ හැමදෙයකටම ශක්තියක් වුණේ ඇය කියලයිි ඔහු කිව්වෙ. ඒ සැහැල්ලූවෙන් හෙට දිනයේ ඔවුන් එක වහලක් යට යුග දිවිය අරඹාවි.
සාරංග දිසාසේකරගේ රහසක් නොවුණ ඒ රහස අපිත් එක්ක කිව්වේ මේ විදිහට.
ඇයි මේ ටෙලි නාට්‍යවල විතරක් වැඩිපුර දකින්න ලැබෙන්නෙ?
ඇත්තටම වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ටෙලි නාට්‍යවලට. ඒ අතර පිරිමියෙක්ගෙන් පැමිණීල්ලක්, මාර හොරු වේදිකා නාට්‍ය දෙකටත් සම්බන්ධ වෙනව. ඉදිරියටත් එවැනි ආරාධනා ලැබිල තියෙනව. සිනමාව පැත්තෙන් ගත්තොත් ප්‍රිස්ම, ආශාවරී, තානාපතිලාගේ ගෙදර යන සිනමා නිර්මාණ ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.
සාරංග කියන්නෙ ලැබෙන ඕනෑම චරිතයක් භාරගන්න කෙනෙක්ද?
මුල්කාලෙ නම් භාර නොගත යුතුයි කියල හිතෙන චරිත තිබුණෙ නැති තරම්. නමුත් මේ වෙනකොට යම් තෝරා බේරා ගැනීමක් කරනව.
ඔබට අභියෝගයක් වුණ චරිතයක් මෙතෙක් ලැබුණෙ නැද්ද?
ඔව්. අභියෝගාත්මක චරිත ලැබිල තියෙනව. ඒ වගේම චරිත කොපමණ කරල තිබුණත් ලැබෙන ඕනෑම චරිතයකදි මම මටම අභිගෝගයක් වෙනව.
රංගන ශිල්පියකුට වෘත්තීමය වශයෙන් පවතින්න පුළුවන්ද?
ඔව්. ඒක තර්ක කරන්න පුළුවන්. ලංකාවේ සුරක්ෂිත බවක් නැති වෘත්තියක් විදිහට තමයි කලාව සැළකෙන්නෙ. කලාකරුවෙක් වුණාම හැකියාවන්ගෙන් සන්නද්ධ වෙන්න ඕන. ලැබෙන සුළු චරිතයකින් වුණත් උපරිමය දෙන්න ඕන. එහෙම වුණාම පැවැත්ම ගැන සැකයක් ඇතිවෙන්නෙ නෑ. මම හැමදාම විශ්වාස කළේ ඒ දේ.
ඔබට කැපිලි කෙටිලි තිබුණෙ නැද්ද?
කැපිලි කෙටිලි තියෙන්න ඇති. හැබැයි මම දන්නෙ නෑ. ඒ ගැන මගේ උනන්දුවක් තිබුණෙත් නැහැ. මම තුළ තියෙන හැකියාව වර්ධනය කරගන්න පුළුවන්නම් කාගෙවත් කැපිලිවලින් වට්ටන්න බැහැ.
ළඟදීම පිළිවෙළක් වෙන්න යනව කියල ආරංචියි?
ම්… ම්… ම්… අළුතෙන් පිළිවෙළක් වෙන්න දෙයක් නෑ. කොහොමටත් පිළිවෙළට තමයි ඉන්නෙ. මෙහෙමයි… ළඟදි කියල කියන්න අමාරුයි මේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක. ලොකුවට වෙඩින් එකක් ගන්න එක කොහොම වුණත් අපි බඳිනව.
දිනක්ෂිට පරණ දේවල් අදාළම නැද්ද?
අදාළයි කියන්නෙ එයා මං ගැන දැනුවත්නෙ. මම කලින් කසාද බැඳල ඩිවෝස් වුණ කෙනෙක් බව එයා දන්නව.
එතනින් එහාට දෙයක් නෑ. වටපිට අය වගේම සමාජයේ අය තමයි ඒ දෙවල් අදාළ කරගෙන තියෙන්නෙ. මමනම් කියන්නෙ අපිට ප්‍රශ්නයක් නැති දේවල් එයාල ප්‍රශ්නයක් හැටියට හිතන එක අපරාධයක්. සමහරු එයාලගෙ ප්‍රශ්න අමතක කරන්න අපේ දේවල් ප්‍රශ්නයක් කරගන්නව. කමක් නෑ ඉතින්… ඒකෙන් අපිට පිනක්වත් සිද්ධ වෙයිනෙ.
උමාලි සමග අද ඔබ අමනාපෙන්ද?
අපෝ එහෙම කිසිම තරහක් අපි අතර නෑ. එයාගෙ ෆේස්බුක් ගිණුමෙ මම ඉන්නව. මගේ එකෙත් ඇය ඉන්නව. ඒ වගේම අවශ්‍ය දේට අපි කතා බහ කරනව.
ජීවිතේ ගත්ත තීරණ ගැන පසුතැවීමක් ඇතිවුණ අවස්ථා තියෙනවද?
කිසිම පසුතැවීමක් නෑ. ඒ හැමදේම ජීවිතේ අත්දැකීම් හැටියටයි මම දකින්නෙ. වෙන්න තියෙන දේ සිද්ධ වෙනව. ඒ දේවල් හොඳ විදිහට බාරගන්න එක තමයි අපි කරන්න ඕන. තමන්ට අකටයුත්තක් සිදුවෙන දෙයක් අපේ ජීවිතවල තියෙනවනම් අපි ඒ දේවල් ඈත් කරන්න ඕන කියලයි මම නම් හිතන්නෙ.
කටකතා මඩ ප්‍රචාරවලට බයද?
බයක් නෑ. හිත කැඩෙන වෙලාවල්, කලබල වෙන වෙලාවල්, දුක හිතෙන වෙලාවල් නම් තිබුණ. නමුත් ඒ අවස්ථාවන් වලදි ඒවා සාමාන්‍ය තත්ත්වයෙන් දකින්න දිනක්ෂි මට ලොකු පිටිවහලක් වුණා.
සාරංග දැන් ක්ෂේත්රයේ ස්ථාවර තැනක ඉන්නවද?
ඔව්. මම එහෙම හිතනව. මොකද මෙතෙක් කලක් මම වෘත්තීයමය වශයෙන් කරගෙන ආපු දේවල් අඩුවක් වුණේ නෑ. සුළු දේකින් වුණත් වෙනස් දෙයක් කරන්න මම හැම වෙලාවෙම උත්සාහ කළා. මගේ දක්ෂතාවක් දකින නිසානෙ නිර්මාණවලට ආරාධනා ලැබෙන්නෙ. ඉතින් ඒ ස්ථාවරත්වය රැුකගන්න මම ගොඩක් මහන්සි වෙනවා.
ඔබේ මව තිලකා රණසිංහ කොහොමද ඔබේ ගමනට අත දෙන්නෙ?
ඇත්තටම මගේ අම්ම පොඩිකාලෙ ඉඳන් මට ලොකු අත්වැලක් වුණා. ගුවන්විදුලි සංස්ථාවට එක්කගෙන ගිහින් ළමා පිටියට යොමු කරල එතන ඉඳන් ජීවිතේ ඉදිරියට එන්න මට ලොකු ශක්තියක් වුණේ ඇය.
ව්‍යාපාර කටයුතු සාරංගට ගැලපෙන්නෙ නැතිද?
මගේ ව්‍යාපාරයක් තියෙනව සාරංග දිසාසේකර ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඞ් කියල. මගේ කාර්යබහුලත්වයත් එක්ක එතන රැදෙන්න මට කාලයක් නෑ. ඒ වැඩකටයුතු මගේ අම්ම තමයි බලාගන්නෙ.
ඔබේ පියා විශිෂ්ට ගායන ශිල්පියෙක්. ඔබ සංගීතය අතහැරියද?
ඇත්තටම රංගනය වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න සිදුවෙන නිසා සංගීතය ටිකක් මගහැරුණ. ? තුං යමේ සහ මා දෙනෙත් පියවෙලා කියන ගීත දෙක වගේම ආදර හෝඩිය කියල අම්ම වෙනුවෙනුත් ළඟකදි ගීතයක් කළා. බලමු ඉදිරියේදී වැඩි කාලයක් සංගීතය වෙනුවෙන් වෙන් නරන්න.
මොකක්ද ඊළඟ පියවර?
මං එහෙම ලොකු සැළසුම් තියාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. රටේ ලෝකෙ සිද්ධවෙන දේවල් එක්ක එහෙම දේවල් හිතන්න අමාරුයි.
උපුටා ගැනීම – දිවයින පුවත්පත
No comments:
Post a Comment