මුළු ලෝකයම කොරෝනා මාරයා වෙළා ගෙන අවසානය. දියුණු නොදියුණු කියා වෙනසක් නොකර කුල මල කියා වෙනස් නොකර කොරෝනා වයිරසය තවදුරටත් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
මාර්තු මාසයේ දෙසතියක් ගත වන විට කොරෝනා වයිරසය අප මාතෘ භූමියටද ඇතුළු වූ අතර මේ වන විට එහි ව්‍යාප්තියක් සිදු වෙමින් පවතී.
මෙරට සෞඛ්‍ය අංශ සමඟ අත්වැල් බැඳගත් මෙරට ආරක්ෂක අංශ දිවි හිමියෙන් යුතුව කොරෝනා මැඬලීම සඳහා විශාල කාර්යභාරයක් සිදුකරමින් සිටී.
කොරෝනා මෙරටින් තුරන් කිරීමේ අදිටනින් අප වීරෝදාර රණවිරුවන් අසීමිත කැප කිරීම් සිදුකරන කාල සීමාවක් ලෙස මෙම කාල පරිච්ඡේදය හැඳින්විය හැකිය.
ලක’ඹර සුරකින ලංකා ගුවන් හමුදාවද මෙම කර්තව්‍යයට දායකත්වය ලබාදී ඇත.
කුරිරු යුද්ධය පැවැති සමයේ උඩු ගුවනින් ගොස් එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ මර්මස්ථාන සුනුවිසුනු කළ ගුවන් හමුදා විරුවන් කොරෝනා තර්ජනය හමුවේ මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා ගුවන් ගිලන් රථයක් සිය මෙහෙයුම් සඳහා යොදා ගෙන ඇති පුවතක් වාර්තා විය.
මෙවර අප කතානායකයා වන්නේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති ගිලන් ගුවන් රථයයි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ සංකල්පයකට අනුව දෙසතියක කාලයක් තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි -12 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස ගුවන් ගිලන් රථයක් බවට පත්විය.
ගිලන් රථයක් බවට පත්වූ වයි - 12 මෙම ගුවන් යානය චීනයේ නිෂ්පාදිත ගුවන් යානයකි. තිස් වසරක පමණ කාලයක සිට භාවිතයට ගන්නා මෙම ගුවන් යානය රත්මලාන පිහිටි අංක 8 ගුවන් බළගණය සතුවේ.
සැහැල්ලු ප්‍රවාහන බළගණයට අයත් වයි - 12 ගුවන් යානය, මීට පෙර ගුවන් නියමුවන් පුහුණු කිරීමට, ගුවන් හමුදා කඳවුරු වෙත ගුවන් හමුදා සාමාජිකයන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට, ගගන නිරීක්ෂණ කටයුතුවලට මෙන්ම කෘත්‍රිම වැසි ඇති කිරීමේ අත්හදා බැලීම්වලට සහ මෙරට වනාන්තර ඝනත්වය වැඩි කිරීම සඳහා ක්‍රියාත්මක කළ උඩු ගුවනින් බීජ ඉසීමේ කටයුතු සඳහා සක්‍රිය දායකත්වයක් ලබාදී ඇත.
තවද යුද්ධය පැවැති සමයේ මෙම යානය යුද සංග්‍රාමවලින් තුවාල වූ සෙබළුන් ප්‍රවාහනය කිරීම ආදී සුවිශේෂී මෙහෙයුම් සඳහාද යොදා ගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ සඳහන් කළේය.
“වයි - 12 වර්ගයේ මෙම ගුවන් යානාවල ඇති විශේෂත්වය තමයි ඉතා කෙටි කාලයක් තුළදී ගුවන් යානයේ ඇති ආසන ගැලවීම සහ සවි කිරීම. ඒ නිසා මෙම යානය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සේම රෝගීන් රැගෙන යෑම සඳහා භාවිතයට ගන්න පුළුවන්” ඒ හඬ ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහගේය.
“පෙර භාවිතයට ගත් මෙම ගුවන් යානය ගුවන් ගිලන් රථයක් කිරීම සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 8 සැහැල්ලු ප්‍රවාහන බළගණය විශාල කැපකිරීමක් සිදුකළා. ගිලන් යානයකට අවශ්‍ය උපකරණ සවි කිරීමට විදුලිය ලබාදීම සඳහා වයර් ඇදීමේ කටයුතු දින පහක් පමණ සිදුකරන්නට වුණා. ඒ වගේම ගුවන් යානාවකට රෝගීන් රැගෙන යෑම සඳහා සුදුසු වන පරිදි ගිලන් ඇඳක් සවි කිරීමද දැඩි තාක්ෂණයකින් යුතුව සිදු කරන්නට වුණා” යැයි ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ අදහස් දක්වමින් කියා සිටියේය.
එම කටයුතු සඳහා ගුවන් යානා ඉන්ජිනේරු සහායක අංශයේ ගෘෘප් කැප්ටන් එස්. විතාරණ ඇතුළු විරුවන්ගෙන් ලැබී ඇත්තේ විශාල සහායකි.
ගුවන් ගිලන් රථයක් වූ වයි - 12 යානයේ මේ වන විට විශේෂයෙන්ම නිර්මාණය කරන ලද වෛද්‍ය ඇඳුම් කට්ටලයක්, හුස්ම ගැනීම සඳහා අපහසු රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය වන උපකරණ, රෝගියා සඳහා සාදා ඇති විශේෂිත ඇඳ සහ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයට උඩු ගුවනේදී පවා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කරන ඉඩ පහසුකම් මෙම යානයෙහි පවතී.
එක් රෝගියෙක් රැගෙන යෑම සඳහා හැකියාව ඇති මෙම ගිලන් ගුවන් යානයෙහි එක් වෛද්‍යවරයකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට ගමන් කිරීමට හැකියාව පවතී.
රෝගියකු රැගෙන යන අවස්ථාවේදී සාමාන්‍ය ගුවන් ගමනක් මෙන් මෙහි ප්‍රධාන ගුවන් නියමුවාට අමතරව සහායක ගුවන් නියමුවකු ගමන් කරයි.
ඊට අමතරව ගුවන් යානා සැකිලි ශිල්පියකු සහ විද්‍යුත් හා මෙවලම් ශිල්පියකු වෛද්‍ය මෙහෙයුම සඳහා රැගෙන යනු ලබන්නේ ගුවන් යානය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහාය.
මෙපමණ කලක් සැහැල්ලු ගුවන් මෙහෙයුම්වල නියැළුණු වයි -12 ගුවන් ගිලන් රථය ගුවන් හමුදා සමාජිකයන් විසින් නිපදවීමෙන් අනතුරුව එය රෝගියකු රැගෙන යෑම සඳහා උචිත දැයි පරීක්ෂා කිරීම සඳහා පැය දෙකකට ආසන්න කාලයක් අත්හදා බැලීමේ ගුවන් ගමනකටද එක් වී ඇත.
එම අත්හදා බැලීමේ මෙහෙයුම සඳහා ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ අංක 8 සැහැල්ලු ප්‍රවාහන බළගණයේ අණදෙන නිලධාරි ගෘෘප් කැප්ටන් අමල් පෙරේරා විරුවා සහ ගුවන් වෛද්‍ය සේවා නිලධාරි ලෙස කටයුතු කර ඇත්තේ රත්මලාන ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරි ගෘෘප් කැප්ටන් සුජිත් පෙරේරා විරුවාය.
මෙම යානයෙහි මවු සමාගම වන චීනයේ ගුවන් නිෂ්පාදන සමාගම සතුවවත් ගිලන් ගුවන් යානයක් නොතිබීමද සුවිශේෂී වන්නේ අප විරුවන්ගේ දක්ෂතා ගැන ශ්‍රී ලාංකිකන් ලෙස ආඩම්බර වෙමිනි.
යුද්ධය පැවැති කාල සීමාවේ පවා යුද ජයග්‍රහණ ගෙන දීමට කටයුතු කළ වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සෙන්පතියාගේ ඉදිරි දැක්ම අනුව නවීකරණය වූ මෙම ගිලන් ගුවන් යානය කොරෝනා මර්දන මෙහෙයුම්වලට සහාය දීමේ අරමුණින් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ මේ වන විට ස්ථානගත කර ඇත.
මෙම කර්තව්‍යය සඳහා ගුවන් යානා මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් රවි ජයසිංහ, ගුවන් යානා ඉන්ජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් දුශන්ත රත්නායක යන විරුවන්ගේ නායකත්වයද ලැබී තිබේ.
මෙරටින් කොරෝනා වයිරසය මුලිනුපුටා දැමීමේ සටනට ශක්තියක් වෙමින් දිවයිනේ ඕනෑම ස්ථානයක සිටින ආසාදිතයකු ආරක්ෂිතව රෝහලක් කරා රැගෙන යෑම සඳහා සහාය වීමට වයි -12 ගුවන් ගිලන් රථය සීරුවෙන් සිටී.
සටහන - චාමර අමරසූරිය
ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය
Source - මව්බිම
No comments:
Post a Comment