වසර ගණනාවක් තිස්සේ පුංචි තිරයටත් සිනමා තිරයටත් නානාවිධ චරිත කැමරාව ඉදිරියේ රගදැක්වූ ඇය බොහෝ දෙනෙකුගේ ආදරයට නිතැතින් පත් වූ තැනැත්තියක්. අහිංසක සිනහවක් නිරන්තරයෙන්ම මුවගේ තබාගෙන සිටින ඇය නමින් නිල්මිණි තෙන්නකෝන්. දියණිය එක්ක සුන්දර ජිවිතයක් ගත කරන නිල්මිණි කලකට පසුව ලැබුණු විවේකය හා අලුත් තොරතුරු අපිට කිව්වේ මේ විදිහටයි. මේ ඒ කතාබහ ගැනයි.
මාසයකට වැඩි කාලයක් ගෙදරට හිර වෙලා ජිවත් වෙන්න සිදු වෙලා තියෙනවා රටේ තියෙන තත්ත්වය එක්ක, කොහොමද මේ ගෙවන ජිවිතේ..?
මේ වගේ ජිවිතයක් ගෙවන්න ලැබුණු එක ගැන දුකක් නැහැ. කාර්යබහුල ජිවිතේ එක්ක විවේකයක් ලැබිලා තියෙනවා. ගෙදර ඉන්න නිසා මම ගොඩක් වැඩකටයුතු කරගන්නවා. පසුගිය 14 වැනිදා තමයි මගේ අලුත් සැලෝන් එක විවෘත කළේ. එදා ඒ වැඩකටයුත්ත අවසන් කරලා ගෙදර ආවට පස්සේ මට ආරංචි වුණා පළමු කොරෝනා ආසධිතයා වාර්තා වුනා. ඔහු සංචාරක මගපෙන්වන්නෙක් කියලා. එතකොටම මම දැනගත්තා අපේ රටටත් මේ තත්ත්වය බලපායි කියලා. ඒ නිසා පහුවදාම මම ගෙදරට අවශ්‍ය කරන සියලුම දේ අරගෙන ආවා. ඒ ගෙනාව දේවල් තමයි අපි තවම පාවිච්චි කරන්නේ. 16 වැනිදා ඉදලා ගෙදරටම වෙලා ඉන්නවා. දවස් දෙකක් අවශ්‍ය කටයුතු සදහා පොලිස් බලපත්‍රයක් අරගෙන ගියා. එච්චරම තමයි. තවම කොහෙවත් ගියේ නැහැ.
මේ දවස්වල වැඩිපුර පරිස්සම ගැන හිතනවා නේද..?
රටේ තත්ත්වය හොද අතට හැරෙන්න නම් අපි හැමෝම පරිස්සම් වෙන්න ඕන. මම මිට වසර 12 කලින් දරුණු අනතුරකට මුහුණ දුන්නු කෙනෙක්. ඒ මොහොතේ මගේ අක්මාව කැඩිලා ගිහින් තිබුනා. මම බේරුණේ හාස්කමකින් කියලා තමයි වෛද්‍යවරු කිව්වේ. වෛද්‍යවරුන්ගේ කරුණාව, හැකියාව නිසා මම අද ජිවත් වෙලා ඉන්නවා. මට ලේ ඕන වෙලා මට ආදරේ කරන ජනතාව 1000ක් විතර මම වෙනුවෙන් ලේ පරිත්‍යාග කරලා තිබුනා.රෝහලේ මාස තුනක් එකතැන ඉද්දි මට නියුමෝනියාවට ආවා. ඒ වෙලාවේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය ජිවිතයක් රැකගන්න කොයි තරම් සටනක දෙනවද කියලා මම මගේ අත්දැකීමෙන් දැක්කා.
මේ මොහොතේත් ලංකාවේ ඉන්න සියලු සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, හැමෝම මොන තරම් සටනක් දෙනවද අපේ මේ පුංචි රට බේරා ගන්න. ඒ නිසා මමත් මගේ ගෙදරත් මම පරිස්සම් කරගන්නවා. හැමෝම තම තමන් ගැන වගේම රට ගැන හිතුවොත් අපිට ඉක්මණට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්.
බොහෝ දෙනෙක් මේ තත්ත්වය එක්ක ආර්ථක අපහසුතා සදහාත් මුහුණ දෙනවා..?
එක පාරටම මේ වගේ තත්ත්වයක් එයි කියලා කවුරුවත් හිතන්නේ නැහැ. රටේ තත්ත්වය එක්ක මම නිලියක්, මවක් විදිහට අපහසුතාවයට පත් වෙලා. මගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා. දුවගේ විභාගය අතරමග නතර වෙලා. මේ දේවල් හැම කෙනෙකුටම ඇති වෙලා තියෙන්නේ. තනි ගැහැණියක් විදිහට මම මේ වෙලාවේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මට කන්න තියෙනවද කියලා බලන්නවත් කෙනෙක් නැහැ. නමුත් මම පිස්සියක් වගේ දගලන්නේ නැහැ. හොද මානසික මට්ටමකින් මේ දේට මුහුණ දෙනවා. අපි හැමෝම කරන්න ඕන මේ වෙලාවේ එන දේට මුහුණ දීම තමයි.
ඒ වගේම අපි ඉපදෙනකොට අරන් එන දේකුත් නැහැ. මැරෙනකොට ගෙනියන දෙයකුත් නැහැ. මේ සරලකම තේරුම් අරගෙන අපි කවුරුත් ජිවත් වෙන්න ඕන. දැන් කොරෝනාවලින් මැරෙන අය එකට පුච්චන්නේ. එතකොට ආගම් කුල ජාති බලන්නේ නැහැ. මේ ගෙදර හිටපු දවස් ටික ඇති අපේ මිනිසුන්ට ජීවිතේ තේරුම් ගන්න. ඒ වගේම ගැහැණු අයට පිරිමි අය සලකන විදිහ හරිම වැරදියි සමහර අය. ගහනවා බනිනවා. මේ දේවල් නිවාඩුව අවසන් වෙද්දී අවසන් වෙලා ලස්සන සිතුම් පැතුම් තියෙන පත් වුනොත් හොදයි කියලයි මම නම් හිතන්නේ. මමත් හරියට මිනිසුන්ට රැවටුනා. මේ කාලේ මමත් ඒ ගැන හොදින් තේරුම් අරගෙන ඉන්නේ.
තනියම ගෙදර ඉද්දි පාළුව කාන්සාව දැනිලා නැද්ද..?
මට පාළුවක් කොහෙත්ම දැනෙන්නේ නැහැ. මගේ ස්වේතා මගේ ලග ඉන්න නිසා. ගෙදර වැඩ කරනවා. දුවගේ පාඩම් වැඩ කියලා දෙනවා. ඒ වගේම මම මේ දවස් ටිකේ හරියට පොත් කියෙව්වා. The Secret කියන පොතට මම හරි කැමතියි. මේ පොත මම දෙතුන් වතාවක් කියෙව්වා. ඒ වගේම චිත්‍රපටි බැලුවා. ඒ දේවල් කරනකොට කොහෙත්ම මට පාළුවක් තනිකමක් දැනෙන්නේ නැහැ.
නිල්මිණි උයන්න දක්ෂ කෙනෙක්..?
මට ඕනෑම කෑමක් රසට හදන්න පුළුවන්. මේ දවස්වල විවිධ කෑම හැදුවා. දන්නේ නැති කෑම හදලා ඒවායේ රස බැලුවා.
නිල්මිණිගේ ගෙදරත් වගා කටයුතු කරනවද..?
අපේ ගෙදර ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ. නමුත් තියෙන ඉඩ ප්‍රමාණයේ මම වගා කරලා තියෙන්නේ සෑහෙන කාලයක ඉදලා. ගෙදර කෑම හදනකොට ගෙදර වවලා තියෙන කරපිංචා, රම්පෙ, සේර, දෙහි, කරවිල මම භාවිතා කරනවා. ඒ වගේම ගොටුකොළ, කංකුන් වවලා තිබ්බා. දැන් නැහැ. අයෙත් ඒවත් හදන්න ඕන.
කොහොමද අලුත් අවුරුද්ද..?
ගෙදර නැකතට කිරිබත් හදලා මගේ දුවට කැව්වා. එච්චරයි කළේ. අලුත් අවුරුද්ද එක්ක මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කාටවත් ඊර්ශ්‍යා නොකර, කාගේවත් පවුලක් කඩලා ඉහිරවලා ඒ පවුලේ අයිතිකාරයෙක් නොවී ජිවත් වෙන්න කියලා. ලස්සනට ජිවත් වෙන පවුලක් කඩලා පවුල් හදාගන්න තත්වයකට රටේ ඇතැම් අය පත් වෙලා. ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ගේ හිගයක් නැහැනේ.
නිල්මිණි කියන දේවල් එක්ක හිතෙනවා ඔබ විවාහ ජිවිතයේ අතීත සිදුවීම් එක්ක පසුතැවිමකින් ඉන්නවා කියලා. එහෙමද..?
කොහෙත්ම නැහැ. එහෙම දුක් වුනු කාලයක් තිබ්බා. නැහැ කිව්වොත් ඒක බොරුවක්. මම ඒ කාලේ ඉදලා මම ගැන පත්තරවල පල වූ ලිපි එකතු කරලා තියෙනවා, ඒවා ළගදි එලියට අරගෙන බැලුවා. බොහෝ පත්තරවල මගේ රූපය කවර සදහා අරගත්තා. මගේ වෙඩින් එකේ ඡායාරූප හැම පුවත්පතකම පල වෙලා තියෙනවා. ඒවා දකිද්දී එහෙමත් අතීතයක් තිබ්බා නේද කියලා හිතෙනවා. නමුත් ඒ සියලු දේ අනිත්‍යයි. විවාහ ජිවිතේ වටිනාකම දෙන්නටම දැනෙන්න ඕන. වටිනාකමක් නැතුව එකට ජිවත් වෙන්න ඕන නැහැ. මම මේ ලබා උපන් හැටි. ගිය ආත්මේ මම මොකක් හෝ අකුසලයක් කරලා ඇති විවාහ ජිවිතේ අසාර්ථක වෙන්න. නමුත් දැන් හිතෙනවා දුවත් එක්ක තනියම ජිවත් වෙන්න ලැබීම දාහෙන් සම්පතක් කියලා. මගේ විවාහ ජිවිතේ මට ලැබුණු වටිනාම තෑග්ග ස්වේතා. ඒ තෑග්ග මට වටිනවා හැමදෙයකටම වඩා. දැන් නම් කොහෙත්ම පසුතැවීමක් නැහැ. මගේ දුවට මම හොද අම්මා කෙනෙක් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.හැම අම්මා තාත්තා කෙනෙක්ම දරුවෝ ගැන හිතන්න ඕන. මම නම් එහෙමයි.
හර්ෂණී වීරරත්න
No comments:
Post a Comment