දිනය ඉකුත් අඟහරුවාදා ය. වේලාව පස්වරු 1.00ට පමණ පාසල් ගොස් සිටි තම දියණියන් දෙදෙනා සමඟ ප්‍රියන්ත කුමාර ත්‍රිරෝද රථයෙන් තවලම තලන්ගල්ලේ පිහිටි තම නිවසට පැමිණියේය.
නිවසේ ඉදිරිපස දොර වසා තිබුණි. ප්‍රියන්තගේ බිරිය අයෝමා වෙනදා මෙන් දියණියන් පිළිගන්නට පෙරමඟට ආවේ නැත. “තාත්තේ අම්මා කෝ ” දියණියන් දෙදෙනා අසන්නට වුහ. ප්‍රියන්ත දොර විවර කළේ කුහුලෙනි.
ඔහුත් දියණියන් දෙදෙනාත් නිවසේ ඒ මේ අත ඇවිදමින් අයෝමා සොයන්නට වූහ. අවසන ඔවුන්ට අයෝමා හමු විය. ඇය නාන කාමරයේ වැටී සිටියා ය.
ප්‍රියන්ත ඇය රෝහලට ගෙන යෑමේ අරමුණින් වහාම 1990 හදිසි ගිලන් රථ සේවය ඇමතුවේය. හදිසි ගිලන් රථයක් සමඟ ප්‍රියන්තගේ නිවසට පැමිණි කාර්ය මණ්ඩලය නාන කාමරයේ වැටී සිටි අයෝමා පරීක්ෂා කළහ. “ඇය මිය ගිහින්” ඔවුන් එසේ කියද්දී සිය බිරියට අත්ව ඇති ඉරණම අදහාගත නොහැකිව ප්‍රියන්ත විලාප තබන්නට විය. ඒ සමඟ අසල්වැසියන් මෙන්ම ඥාති හිතවතුන්ද ප්‍රියන්තගේ නිවසට එක්රොක් වුහ. වහාම අයෝමා හිනිදුම රෝහල වෙත රැගෙන යනු ලැබූ අතර ඇය මිය ගොස් ඇති බව රෝහල විසින් සනාථ කළේය.
පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා අයෝමාගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන එනු ලැබිණි. අයෝමාගේ මරණය සැක සහිත බව පවුලේ ඥාතීහු හිනිදුම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ටී. පත්ම කුමාර වෙත පැමිණිලි කළහ.
“මම එදා උදේ ඉඳලා දහවල් වන තුරු අයෝමා එක්ක තේ වත්තේ දළු කැඩුවා. පසුව මම දුවලා දෙන්නව ගේන්න ත්‍රිරෝද රථයෙන් නිවසින් පිටත් වෙලා ගියා. චුටි දුව පෙර පාසලෙන් අරගෙන ලොකු දෝණිගේ පාසල ඇරෙනතෙක් ජස්මින් වැලි ප්‍රදේශයේ තියෙන මගේ නිවසට වෙලා හිටියා. අපි ගෙදර ආවට පසේ තමයි අයෝමා නාන කාමරයේ වැටිලා ඉන්නවා දැක්කෙ”
ප්‍රියන්ත පොලිසියට එසේ කීවද ඔහු කී සියල්ල පොලිස් නිලධාරින් විසින් පිළිගත්තේ නැත. අයෝමාගේ සිරුරේ තුවාල කිහිපයක්ද විය. අයෝමාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත් වීමට පොලිසිය කටයුතු අතර උඩුගම ප්‍රධාන මහේස්ත්‍රාත් සංජීව විජේසිංහ විසින් මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරනු ලැබිණ.කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණිය විසින් සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වූයේ අයෝමාගේ මරණය සිදුව ඇත්තේ ගෙල සිරකිරීමෙන් බවය. ඒ අනුව හිනිදුම පොලිස් ස්ථානාධිපති එම්.ටී. පත්මකුමාරගේ උපදෙස් මත මෙකි ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමේ වගකීම අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුනවිල බණ්ඩාර වෙත පැවරිණි.
ප්‍රධාන පොලිස් පරික්ෂක දුනුවිල බණ්ඩාර විසින් ප්‍රියන්තගෙන් ප්‍රශ්න කළේය. අයෝමා දුෂණය කොට ඇය ඝාතනය කරන්නට ඇත්තේ පිටස්තර පුද්ගලයකු බවට එත්තු ගැන්වීමට ප්‍රියන්ත දැඩි උත්සාහයක නිරතව සිටියේය. එහෙත් ප්‍රධාන පොලිස් පරික්ෂක දුණිවල බණ්ඩාර මහතාගේ උපක්‍රම හා උපායශීලීත්වය හමුවේ ප්‍රියන්තගේ උත්සාහය සාර්ථක නොවීය. අවසානයේ ඔහු සිදුවු දේ පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කළේය. ඒ අනුව එම අපරාධයේ සුලමුල අනාවරණය වූයේ මේ අයුරිනි.
තවලම තලන්ගල්ල ප්‍රදේශයේ පදිංචි මුතුහේටිටගමගේ ප්‍රියන්ත කුමාර හතලිස්පස් හැවිරිදි වියේ පසුවිය. හේ දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. පසුගිය කාලයේ තවලම ප්‍රදේශයේ අඳිනු ලැබු චිත්රවලින් වැඩි ප්‍රමාණයක් අඳිනු ලැබුවේ ප්‍රියන්ත කුමාර විසිනි. කලා අංශයෙන් උසස්පෙළ සමත් වූ ප්‍රියන්ත තේ කම්හලක සහකාර කළමණාකරුවකු ලෙස කලක් සේවය කළේය. පසුව නාවික හමුදාවට එක්වී වසර 5ක් නාවික හමුදාවේ සේවය කළ ඔහු පසුව විදේශගත විය. සවුදි අරාබිය, කටාර් ඩුබායි යන රටවල වසර 9ක පමණ කාලයක් විවිධ රැකියාවන් කළ ප්‍රියන්ත වරින් වර මෙරටට පැමිණියේය.
මේ අතරතුර නාවලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් හඳුනා ගත් ඔහු ඇය සමඟ යුග දිවියට පිවිසුණේය. ඒ විවාහයෙන් ඇයට වයස අවුරුදු 16 දරුවකු සිටින අතර ඔහු ගාල්ල පිලාන පින්නදුව ප්‍රදේශයේ පදිංචි අයෝමා සමඟ විවාහ වන්නේ පළමු බිරියගෙන් දික්කසාද වීමෙන් පසුවය.
අයෝමා සහ ප්‍රියන්තගේ වැඩිමහල් දියණිය පළමු වසරේ ඉගෙනුම ලබන්නීය.බාල දියණිය තුන් හැවිරිදිය. ටික කලක් යනවිට ප්‍රියන්ත සහ අයෝමා අතර නිතර ආරවුල් ඇති විය. ඇතැම් අවස්ථාවලදී අයෝමා ප්‍රියන්ත සමඟ අමනාප වී මහගෙදරට ගිය අවස්ථාවන්ද තිබුණි. මීට වසරකට පමණ ඉහතදී හිනිදුම පොලිසියටද අයෝමා හා ප්‍රියන්තගේ පවුල් ආරවුලක් සම්බන්දයෙන් පැමිණිල්ලක් ලැබි තිබුණි. ඔවුන් දෙදෙනා අතර ආරවුල් දිනෙන් දින වැඩිවද්දී කාලයක සිට එකිනෙකා සමඟ බද්ධ වෛරයෙන් පසු විය. ප්‍රියන්ත ඉතා සුක්ෂම අයුරින් අයෝමා ඝාතනය කිරීමට සැලසුම් කරන්නේ ඒ අනුවය.
එහෙත් ප්‍රියන්තගේ සැලසුම් ප්‍රධාන පොලිස් පරීක්ෂක දුණුවිල බණ්ඩාර මහතා ඉදිරියේ ලප්තැනම ලොප් වී ගියේය. අයෝමා ඝාතනය කිරීමේ කථාන්දරයේ පිටපත හා තිර රචනය පමණක් නොව ප්‍රධාන නළුවාගේ චරිතයට පණ පොවා පොලිසිය නොමග යැවීමට ප්‍රියන්ත කටයුතු කළේය. විකෘති ලිංගික ආශාවලින් යුතු කාන්තාවන්ට දැඩි ලෙස ලොල් අයකු වූ ප්‍රියන්තගේ ජංගම දුරකථනයේ තිබි අසැබි දර්ශන ද පොලිසිය විසින් සොයා ගත්තේය.
ඝාතනයට ලක්වූ දින දරු දෙදෙනා පාසල් ගිය පසු අයෝමා නාන කාමරයට ගිය පසු ප්‍රියන්තද එයට ඇතුළු විය. ඔහු ඇය සමඟ පොර බදන විට. අවස්ථා දෙකකදී පමණ අයෝමා නාන කාමරය තුළ ඇද වැටුණාය. ඇය එසේ අඩපණ වූ පසු ප්‍රියන්ත කළේ අයෝමගේ හුස්ම යන තෙක් ඇගේ ගෙල නානා කාමරයේ වූ වතුර පිරවූ බේසමට ඔබාගෙන සිටීමය. අනතුරුව නාන කාමරයේ ජල කරාමය හැර දමා දරු දෙදෙනා රැගෙන ඒමට ත්‍රිරෝද රථයෙන් පාසල වෙත ගියේය. අයෝමාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රියන්ත කුමාර උඩුගම ප්‍රධන මහේස්ත්‍රාත් සංජීව විජේසිංහ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිණිගේ, හිනිදුම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර, හිනිදුම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නීල් පත්මකුමාර යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුණුවිල බණ්ඩාර, උප පො. ප සුනිල්, පො සැ 34604 පුෂ්පකුමාර පො සැ 3073 චන්දන, පො සැ 30859 සතිස්චන්ද්‍ර, පො සැ 58417 වනිගරත්න, පො.කො 86428 බුද්ධික යන නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලැබීය.
ලලිත් චාමින්ද - ගාල්ල
No comments:
Post a Comment