පාස්කු ඉරිදා ප්‍රහාරය අන් කිසිවකට සම නැත. එය මෙරට ඉතිහාසයට එක්කළ අදුරු මතකය කිසියම් ආගමික මතවාදයක් උදෙසා ශ්‍රී ලාංකේය ජන සමාජයට කළ නින්දිත ම ප්‍රහාරය ලෙස ලියැවෙනු ඇත.
පාස්කු ප්‍රහාරයේදී මතුවූ විශාල ම සැකයන් රැසකි. අදටත් ඉන් සමහරක් ඒවා විසඳී නැත.
පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව ඇති වූ ප්‍රධානතම සැකයක් වූයේ ප්‍රහාරයේදී එක් බෝම්බයක් පුපුරුවා ගත් සහරාන් තම අන්තවාදී කල්ලියේ නායකයා ද යන්නය.
ලෝකය ම ප්‍රශ්න කළේ සහරාන් නායකයා නම් හා නායකයා බෝම්බයක් පුපුරුවාගෙන මිය ගියේ නම් ඉන් මත්තට අදාළ සංවිධානය රහසේ හෝ පවත්වාගෙන යන්නට නායකත්වය දෙන්නේ කවුරුන් ද? යන්නයි.
ඊට පිළිතුරක් ලෙස සුළු පිරිසක් සහරාන් අදාළ අන්තවාදී කණ්ඩායමේ නායකයා නොවන බවත්, එහි යටිබිම්ගත සැඟවුණු වෙනත් නායකයෙකු සිටිය හැකි බවත් පෙන්වා දෙන්නට උත්සාහ කළේය. මේ කියූ පරිදි, තව්හිද් ජමාත්, සහරාන්ගේ මිනීමරු අන්තවාදී කල්ලියේ සැබෑ නායකයා සහරාන් නොව ඔහුගේත් ගුරු වූ නවුෆර් නමැති මවුලවිවරයෙකු බව මේ වන විට දෙවන වතාවට ද ඔප්පු වී තිබේ.
ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට පත් වූ සහරාන්ගේ බිරිය ඊට අදාළ පළමු හෙළිදරව්ව සිදු කළාය. කාත්තන්කුඩි නිවසේ සිටියදී තුවාල ලබා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන අතරේ සහරාන්ගේ බිරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තම සැමියා වන සහරාන් තව්හිද් ජමාත් සංවිධානයට බඳවා ගත්තේ නවුෆර් මවුලවි නම් සෞදි අරාබියේ සිටින පුද්ගලයෙකු විසින් බවය. තම සැමියා සියලු දේ කළේ ඔහුගේ උපදෙස් මත බව ද සඳහන් කර ඇති ඇය, නවුෆර් සෞදි අරාබියේ සිට වරින් වර ශ්‍රී ලංකාවට එන බව ද සඳහන් කර තිබේ.
මෙය වඩාත් දරුණු ලෙස තහවුරු වන්නේ පසුගිය දා වත්මන් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ලබා දුන් සාක්ෂි සමගිනි. ඔහු තම සාක්ෂිය පුරාවට ම කරුණු ගෙන හැර පෑ එක් කාරණයක් වන්නේ සහරාන්ගේ අන්තවාදී සංවිධානයේ සහරාන්ටත් වඩා පරිණත පුද්ගලයා වන්නේ මෙකී මවුලවිවරයා බවය.
රාජ්‍ය බුද්ධි සේවය දිගින් දිගට ම සහරාන් හෂීම් පිළිබඳ බුද්ධි තොරතුරු වාර්තා කර තිබියදීත් ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන අංශයක් අඛණ්ඩව ක්‍රියාත්මක නොවූ බව නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.
2017 මාර්තු මස 10 වන දින සිදුවූ ආලියාර් ගැටුමෙන් පසු සැඟව සිටි සහරාන් හෂීම් දිගින් දිගට ම අයි.එස්. මතවාදය සාධාරණීකරණය කිරීම හේතුවෙන් ඔහු අන්තවාදියෙකු නොව සැබැවින් ම ත්‍රස්තවාදියෙකු බව තමන් ජාතික ආරක්ෂක මණ්ඩලයට ලිඛිතව හා වාචිකව දැනුවත් කර තිබූ බව ද නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ අනාවරණය කළේය.
“මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න නැත්නම් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා” යැයි තමන් ආරක්ෂක කවුන්සලය දැනුවත් කරමින් සඳහන් කළ බව ඔහු පැවැසුවේය.
2018 දෙසැම්බර් මස 26 වන දින සිදුවූ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීම හුදෙක් සිදුවීමක් ම නොව එය අන්තවාදී ක්‍රියාවක් බවට තමන් ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළ බව ද ඔහු සඳහන් කළේය.
“සහරාන් හෂීම් යනු අයි.එස්. මතවාදය වෙනුවෙන් පෙනී සිටින ත්‍රස්තවාදියෙක් බව පැහැදිලිව දැන සිටියා. සහරාන් කැකුණුගොල්ල ප්‍රදේශයේ සැඟව සිටින බව වගකිව යුතු පාර්ශ්වයන්ට දැනුම් දී තිබුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසිවෙක් බී.එම්.ඩබ්ලිව්. එකක සහ රේන්ජ් රෝවර් එකෙන් ඇවිත් බෝම්බ පුපුරවා ගත්තේ නැහැ. ඒත් මේ අය එහෙම නෙමෙයි. ඇයි සහරාන් පළමු ප්‍රහාරයෙන් ම මැරෙන්නේ. දෙවැනි ප්‍රහාරයකුත් තිබුණා. ඒත් පළමු ප්‍රහාරයට ඔහු ගියා. නායකත්වය පිළිබඳ ගැටලුවක් එඩේරමුල්ලේ ගෙදරදී ඇති වුණා. සැබෑ නායකයා වූයේ සහරාන් නෙමෙයි. නවුෆර් මවුලවි නමැත්තායි. එල්.ටී.ටී.ඊ.යේ ඇන්ටන් බාලසිංහම් න්‍යායාචාර්යවරයා මෙන් නවුෆර් මවුලවි තමයි මෙම සංවිධානයේ කටයුතු කළේ. ඔහු වසර 19ක් කටාර්වල ඉඳල තියෙනවා. කටාර්වල මෙහෙයුම් ගොඩක් තිබුණා. ජාත්‍යන්තර සබඳතා ඔහු විසින් සකස් කරගෙන තිබුණා. මේ වන විට නවුෆර් මව්ලවි ඉන්නේ අත්අඩංගුවට අරගෙනයි. ප්‍රහාරයෙන් පසු ඇඳිරි නීතිය අස්සේ ඔහු අම්පාර බලා යමින් සිටියදී අත්අඩංගුවට පත්වුණේ.”
තමා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයාව සිටි 2015 මාර්තු මස 03 සිට 2019 මැයි මස 31 දක්වා වූ කාලය තුළ ආරක්ෂක ලේකම්වරයාට බුද්ධි හා විවිධ තොරතුරු ඇතුළත් වාර්තා 2738ක් ද පොලිස්පතිවරයාට වාර්තා 2343ක් සහ ජාතික බුද්ධි ප්‍රධානියාට වාර්තා 925ක් ද යොමුකළ බව නිලන්ත ජයවර්ධන මහතා මෙම සාක්ෂි විභාගයේදී තවදුරටත් සඳහන් කළේය.
මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිදුවීමට සම්බන්ධ සහරාන් හෂීම් වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සිදුවීමට ද සම්බන්ධ බව පාස්කු ප්‍රහාරයට පෙර ජනවාරි මාසයේ ආරක්ෂක කවුන්සලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කළ බව ද නිලන්ත ජයවර්ධන මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් තමන් සැපයූ වාර්තාවලට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බව ද ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය. එවිට, එවැනි වටපිටාවක් තුළ සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඇයි ද යනුවෙන් කොමිසම ප්‍රශ්න නැඟීය.
“බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී තිබියදී විමර්ශන අංශ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. වසර ගණනාවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් කොළඹට ගහනවා යැයි කිසිදු සඳහනක් කර නොතිබුණ පසුබිමක මෙවැනි තොරතුරක් ලබා දුන් විට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට තිබුණා.”
සහරාන් හට නායකත්වය දෙමින් සහරාන් ද ඇතුළු මරාගෙන මැරෙන නඩය ම මෙහෙයවා ඇත්තේ නවුෆර් මවුලවිවරයා බව ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කරුණු සහිතව ඔප්පු කරන්නට යෙදිණි.
ප්‍රසාද් අබේවික්‍රම
- Mawbima
No comments:
Post a Comment