
සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 22ක පමණ දුරින් ගැඹුරු මුහුදේ ගිනි ගනිමින් පවතින එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන මෙරටට ගලාඒමේ අවදානමක් නොමැති බව නාවික හමුදාව පවසනවා.
ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා මේ වනවිට නෞකා 09ක් යොදවා ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, ඉන්දීය නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකායි එම ඒකාබද්ධ මෙහෙයුම සඳහා එක්ව ඇත්තේ.
ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි. 17 සහ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා ඇති අතර, බී 200 යානයක් සහ වයි 12 වර්ගයේ යානයක් නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක පමණ දුරින් ගැඹුරු මුහුදේ බොරතෙල් මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 70,000ක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඊයේ පෙරවරුවේ හටගත් ගින්න තවදුරටත් පාලනය කර නැහැ.
නෞකාවේ හටගෙන තිබෙන ගින්නෙන් එහි ගබඩා කර ඇති බොරතෙල්වලට හානියක් සිදුනොවීමට ඇති අවකාශය ඉහළ බවයි නාවික හමුදාවේ ක්‍රියාන්විත අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් නන්දන ජයරත්න කියා සිටියේ.
එම මාධ්‍ය හමුවට එක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර කියා සිටියේ කිසියම් ආකාරයකින් ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් ඊට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වනවිට නීතිපති උපදෙස් ලබාගනිමින් සිටින බවයි.
එසේම, එහි මූලික පියවරක් ලෙස තිරුක්කෝවිල් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවද ඇය කියා සිටියා.
නාවික හමුදාවේ ක්‍රියාන්විත අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් නන්දන ජයරත්නගෙන් මාධ්‍ය හමුවට එක්ව සිටි මාධ්‍යවේදීන් නෞකාවේ සිදුව ඇති පැල්මක් සම්බන්ධයෙන් විමසා සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ නෞකාව දෙකඩ වීමේ හෝ කොටස්වලට වෙන්වීමේ කිසිදු අවධානමක් නොමැති බවයි.
මේ අතර, පැය 24 පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ මෙහෙයුමක් ඔස්සේ අනතුරට පත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට ඇතිවිය හැකි හානිය වළක්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ඒ සම්බන්ධයෙන් වන සියලූ මැදිහත්වීම් සිදුකරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.



No comments:
Post a Comment